O/L වේවා A/Lවේවා මේ මොක උනත් විභාගේ සමත් වෙන අය හිනාවෙනවා... අනිත් අය කරගන්න දෙයක් නැතුව, අම්මල තාත්තලට මූන දෙන්න ව්හිදියක් නැතිව බලාගත්තු අතේ බලන් ඉන්නවා. නැත්තන් එතැනින්ම තමන්ගෙ ජීවිතේ ඉවර උනා වගේ ජීවිතේ තියෙන සතුට, ජීවිතේ ඉතිරි හැමදේම නැති උනා වගෙ ඉන්නව.
ඔය වෙලාවට දැනෙන්නෙ නිකන් ලෝකේ ඉන්න එකම මනුස්සය ඔයා වගේ... හරි මේ කොහොම උනත් මම නං කියන්නෙ විභාගේ ෆේල් කියල හිතමුකො... හරි කමක් නෑ. ඒ උනාට අපේ ගොඩාක් වටින ජීවිතේ නිකන් ඔහේ ගෙවිල යන්න දෙන්න ඕනේ නෑ... ඔයා දැන් ඔය හිතන විදියට හිතුවනං කවදාවත් ලංකාවේ නවලෝක සමූහ ව්‍යාපාරය වත්, දයාවංශ ජයකොඩි සමාගම වගේ සමාගමක් වත්, ඩීජී ෆැෂන් වගේ එකක් වත් මේ වගේ කිව්ව නොකිව්ව මොකවත්ම හැදෙන්නේ නෑ.
මේ කවුරුවත් උපාධි ගත්ත අය වත් උසස් පෙල සමත් වෙච්ච අය වත් නෙමෙයි. එයාල තමන් ගැන විශ්වාස කරපු අය. පොඩ්ඩක් හිතල බලන්න එයාලගෙයි ඔයාගෙයි තියෙන වෙනස්කම් මොනවද කියලා. අම්මල තාත්තල අත පය නොකඩ හරියට හදල තියෙනව. පුළුවන් විදියට හොඳම දේ අරන් දීල තියෙනව.එයාලට වගේම ඔයාටත් හොදට දැනෙනව, ඇහෙනව හැමදේම ඔයා ලඟ තියෙනවා. එතකොට දැන් මොකද්ද නැත්තෙ??? මට නං හිතෙන්නෙ වෙන මුකූත්ම නෙමෙයි ඔයා ලඟ නැත්තේ එයාල ලඟ තිබ්බ හිතේ ශක්තිය, තමන් කැමති දේ කරන්න තියෙන බය, යමක් පටන්න ගන්න කොට සමාජය මොනව කියයිද කියන බය, ඒවට මූණ දෙන්න බැරි වෙයි කියන බය නැත්නං ඒ දේ කරන්න තියෙන අලසකම. මේ මොකක්ම හරි නොවෙන්නට ඔයාත් දවසක තමන්ගේ පවුලේ අයට ගමේ අයට සමහරවිට මුළු ලංකාවටම වටින පුද්ගලයෙක්... ඉතින් ඇයි අපි තවත් බලන් ඉන්නෙ?
අපි අනිත් අයට කරදරයක් නොවී අපි කැමති දේ කරමු. ඒ දේ වෙනුවෙන් උපරිම මහන්සි වෙමු... හරි.. හරි.. හරි... මොන දේ කරන්නත් අපි ගාව සැලැස්මක් තියෙන්න ඕන නේ... ඔන්න මං පොඩි සැලැස්මක් දෙන්නංකෝ...
01)ඉස්සර වෙලාම ඔයා කැමති දේ තීරණය කරමු.
02) ඊට පස්සෙ ඒ දේ කරන්න ඕන මොනවද කියල බලමු.
03) අපි යා යුතු ගමන පියවරෙන් පියවර තීරණය කරමු.
04) අවාසාන එක.. වෙන මොනවද ඉතින්... වැඩේ පටන් අරන් ඉවර සාර්ථකව කරමු..
ඔන්න ප්ලෑන් එක නං හරි. සැතපුම් දහසක ගමනක් උනත් පටන් ගන්නෙ එක් පියවරකින්නේ. ජීවිතේ වෙනස් කිරීමේ යුද්ධය ඔන්න අපි දැන් පටන් ගන්න හදන්නේ. ඉස්සර වෙලාම අපිට ඕන කරන ආයුධ දෙක තමයි කොලේකුයි ලියවෙන පැනකුයි. හොයාගත්තද? හරි දැන් වෙලාව කීයද? අපේ වැඩේ හා හා පුරා කියල පටන් ගන්න තව තත්පර 10යි තියෙන්නේ.
ඔන්න හරි... එහෙනන් දැන් නමෝ විත්තියෙන් මේක කියවන එක පොඩ්ඩක් නතර කරල ඒ ගත්ත කොලේ ලියන්නකෝ ඔයා වැඩිපුරම ආස දේවල්... (දැන් ලියන්න දේවල් හිතෙන එකකුත් නෑ... මෙහෙමයි... නිකමට හිතල බලන්න අම්මල හරි ගුරුවරු හරි කරන්න කියල කියන්නේ නැතුව ඔයා තනියම ආසාවෙන් කරන දෙයක් ගැන... සමහරු චිත්‍ර අඳියි, නැත්නං සෙල්ලං කරයි, තව කෙනෙක් ගේම් ගහයි... මේ වගේ මොනවම හරි කරනවනේ... අන්න ඒ දේ තමයි ලියන්න ඕන.)
හරි... දැන් ඊළඟ පියවර... ඔයා කැමති කවුරු වෙන්නද? මොනව කරන්නද? අන්න ඒකත් අපි ළඟ තියෙන කොලේ ලියමු. හරි දැන් පැයක් හරි කමක් නෑ ඔය කොලේ දිහා බලං ඉඳලා තීරණය කරන්න ඔයා තෝර ගන්නේ මොන මාවතද කියලා... ඉංජිනේරුවෙක්,ව්‍යාපාරිකයෙක්, මල් වවන කෙනෙක්, ගෘහ අලංකරන ශිල්පියෙක්, වෙබ් ඩිසයින(ර්) කෙනෙක්, ග්‍රැෆික් ඩිසයින(ර්) කෙනෙක්, චිත්‍ර ශිල්පියෙක්, ගායකයෙක්, කාටුන් පිස්සෙක් නං ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියෙක්, වඩු කාර්මිකයෙක්, විදුලි කාර්මිකයෙක් මේ වගේ දහසක් දේවල් තියෙනවා රැකියා වෙළදපොලේ. හරි ඔන්න කොහොමහරි දැන් තීරණය කරාද මොකද්ද අනාගතේ කරන්නේ කියලා? එහෙනං හරි. අපි දැන් ඔන්න අපිව පස්සට ඇදල ජීවිතෙන් වට්ටන්න හදපු අපේ දෛවයත් එක්ක යුද්ධය ප්‍රකාශ කරල ඉවරයි. දැන් ඉතින් ඊළඟ පියවර.
අපි හිතුවට, අපි ආස වුනාට කවුරුවත් අපිට රැකියා දෙන්නෙවත්, අපිට තනියෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවත් බෑ. අපිට දැනුම, සම්පත් ඒ එක්කම අපි හිතන පාරේ යන්න පියවරෙන් පියවර ගොඩ නැගීමක් අවශ්‍යයි. අපි නිකමට හිතමු ඔයා හිතන්නේ ග්‍රැෆික් ඩිසයින(ර්) කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නව කියල. ඔන්න මේ පියවර ටික සම්පූර්ණ කරගන්න හොඳ රිස(ර්)ච් එකක් කරන්න වෙනවා. හරි බර වචනෙ නේද? දන්නවද හොදම දේ? අපි අපේ රිස(ර්)ච් එක කරනව මේ දැන්ම. පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. ටක් ගාල වෙන ටැබ් එකක් ඕපන් කරගෙන ඔයාට වෙන්න ඕන හරි කරන්න ඕන දේ හරි ගූග්ල් කරන්න. කියවගන්න බැරි තරන් ගාණක් තත්පරේකටත් කලින් එයි. ඔන්න දැන් වැඩේ ඔයාගේ අතේ. ගොඩාක් උද්‍යෝගෙන් තොරතුරු හොයල ඔයා යන්න ඕන පියවර, දැනුම ගන්න පුළුවන් තැන්. ඒ වගේම එහෙම කරපු අය, එයාල සාර්ථක වුනේ කොහොමද වගේ මේ හැමදේම හොයල බලල අපේ ගාව තියෙන කොලේ දැන් ලියාගමු. ඔන්න නිකමට හිතන්නකෝ ඔයා හිතුවේ ග්‍රැෆික් ඩිසයින(ර්) කෙනෙක් වෙන්න කියල... අපි ඉස්සෙල්ලම ගූග්ල් කරමු කොහොමද ග්‍රැෆික් ඩිසයින(ර්) කෙනෙක් වෙන්නෙ කියල...
දැක්කනේ! ඕන තරන් තොරතුරු තියෙනවා. අපිට ඊළඟට ඕන වෙන්නෙ ඉගෙන ගන්න තැනක්.දැන් ඒකත් ගූග්ල් කරමු.
ඒ ඒ පිටු වලට ගිහිල්ල බලන්න. කොච්චර කල් තියෙනවද... කොහෙද තියෙන්නේ, වියදම කොහොමද... මේ හැමදේම දැනගන්න පුළුවන්. ටිකක් වෙලා අරන් කියවලා අපි කොහොමහරි හොදම දේවල් හොයාගමු. අපි දැනටම ගොඩක් දේවල් කරල ඉවරයි. දැන් ඉතින් ඊට පස්සෙ තියෙන්නේ කාල රාමුවක් හදාගන්න එක.
මම මේ දේ මෙච්චර කාලෙකින් කරනවා, මේකට මෙච්චර කාලයක් යනව වගේ අපේ ඉදිරි ගමන සැළසුම් කරන එක. අපි සරළව මෙහෙම හිතමුකො. පාඨමාළාවට මාස 4යි. කොතන හරි වැඩ කරනවා මාස 6ක්. ඒ කාලෙදි මහන්සි වෙලා සල්ලි ටිකක් ඉතුරු කරන් තමන්ගේ හැකියාවත් වර්ධනය කරගන්නව. දැන් බලනව ඊළඟට. තමන්ගෙම කියලා ආයතනයක් පොඩියට පටන් ගන්නවද? නැත්නන් අපි තෝරගත්ත විෂය හා බැඳුණු තව දෙයක් ඉගෙන ගන්නවද? උදාහරණෙකට කිව්වොත් ඔයා තෝරගත්තෙ ග්‍රැෆික් ඩිසයිනින් නං ඔයාට පුළුවන් පොඩි ග්‍රැෆික් ඩිසයිනින් සෙන්ට(ර්) එකක් පටන්ගන්න. නැත්නං පුළුවන් ග්‍රැෆික් ඩිසයිනින් එක්ක යන වෙබ් ඩිසයිනින් හරි සජීවීකරණය හරි ඔයා තව ඉගෙන ගත්තොත් හොඳයි කියල හිතෙන දෙයක් ඉගෙන ගන්න.
හරි. දැන් නං මට හිතෙන්නෙ ඔක්කොම හරි, දැන් තියෙන්නෙ හොඳ ගැම්මක් අරගෙන වැඩේ පටන් ගන්න. ඉස්සරවෙලාම කියන්න හොඳ වෙලාවක් එනකං ඉඳලා ගෙදර අයට කියමු. සවිස්තරාත්මකව එයාලට තේරෙන විදියට අපි හොයාගත්ත හැමදේම කියමු.(විශේෂයෙන්ම රැකියා අවස්ථා ගැන, වැටුප ගැන, පාඨමාළා ගාස්තුව එහෙම.) කියලා කැමති කරවගෙන අපි අපේ වැඩේ පටන්ගමු.
පාඨමාළාව පටන් ගන්නකන් නිකං ඉන්නෙ නැතුව අන්තර්ජාලයෙන්ම හරි පොත් පත් හොයන් හරි, අපි තෝරගත්ත දේ ගැන අපිට වඩා දන්න කෙනෙක් එක්ක හරි එකතුවෙලා අපි තෝරගත්ත දේ ගැන හොඳ මූලික අඩි තාලමක් අපි ඇතුලෙම දා ගමු. මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම කෙනෙක්ම උපතින්ම සාර්ථක වුන අය නෙමෙයි. එයාලා හැමෝම හෙමින් හෙමින් ඔළුව උස්සපු අය. ඉතින් දැන් ඇයි ඔයාට එහෙම වෙන්න බැරි. විභාගේ හරියට කරගන්න බැරි උනාම හැමෝම කියපු දේවල් ඇත්ත වෙන්න දෙන්න බෑ. අනික අපි හැමෝම මේ ලෝකෙට සුජාතයි. අපි හැමෝගෙම ඇතුලෙ කුමක් හෝ දෙයක් සම්බන්ධයෙන් ලොකූ විභවයක් තියෙනව.
ඔයා ඇතුලේ තියෙන විභවය ඔයා හොයාගත්ත, ඔයාගේ ගමන යන හැටි ඔයා තීරණය කරා. ඔයා සතුව ශක්තිය තියෙනවා, ඔයා සතුව අසීමිත වූ ජවයක් තියෙනවා, ඔයා දෛවය වෙනස් කරනවා... මම ඔයාව විශ්වාස කරනවා, ඉතින් ඔයත් ඔයාව විශ්වාස කරන්න. කියාගන්න බැරි තරන් විශ්වාස කරන්න. ඔයාගේ සාර්ථකත්වය හිතින් දකින්න... ඒ හීනෙ යථාර්තයක් කරල ලෝකෙට කෑ ගහල කියන්න... ඔයාගේ දෙමාපියන්ගෙ ඇස් වලට සතුටු කදුළු ගේන්න ඔයාට ආදරය කරන අයට සැනසීමක් ගේන ඒ දවස වැඩි ඈතක නෙමෙයි. ඔව්... අපි අපේ අරමුණ වෙනුවෙන් අසීමිතව කැපවෙලා ඒ දවස උදා කරමු...